ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉතා පිරිසිදු තත්ත්වයේ ජලය ලීටරයක් සත දොළහකට ලබාදෙන විට මෙරට ලක්ෂ පහකට ආසන්න පිරිසක් ජලය ලීටරයක් රුපියල් 150ට ගෙන බෝතල් වතුර පානය කිරීම හේතුවෙන් එම ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවට අනාවරණ වේ.

මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ය.

ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට නිකුත් කරන ජලය ඉතා පිරිසුදු සහ සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් ලබාදෙන්නේ යැයි එම මණ්ඩලයේ සභාපතිවරයා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කරන ජලය භාවිත කිරීමට පෙළඹීමෙන් බෝතල් ජලය සඳහා වැය වන විශාල මුදල ජනතාවට ඉතිරි කරගත හැකි බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පෙන්වා දෙයි.

ඉහළ ජල බිලක් ගෙවන පාරිභෝගිකයන්ගේ නිවෙස්වල පවතින ජල ටැංකිවල පිරිසුදු භාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය මාස තුනෙන් තුනට නොමිලේ පරීක්ෂා කර වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට එහිදී කාරක සභාවේ සභාපතිවරයා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම රට පුරා හෝටල් හා ආපනශාලාවලවල ජලයේ තත්ත්වය මුදල් අය කර පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසටද කමිටුව විසින් උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

Share.

Comments are closed.