ශ්‍රී ලයන්ස් සංවිධානයෙහි ශ්‍රී ලංකා වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජූලි 26 වන දා කොළඹදී පැවැත්විණි. එහි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මහතා එම සංවිධානයේ සාර්ථකත්වය සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙමින් පෙරගමන්කරුවන් වූ සාමාජිකයින්ට සිය සතුට හා කෘතඥතාව පළ කළේය. මෙම සංවිධානය මෙතෙක් පැමිණි ගමන පිළිබඳ  ආවර්ජනය කරමින් ඒ මහතා සඳහන් කළේ, “මෙය අපගේ සමාරම්භක මෙහෙයුම් වසරයි. අප තවමත් මුල් අවධියේ සිටින අතරම, අපගේ ප්‍රගතිය සැබවින්ම විශිෂ්ටයි” යනුවෙනි.

වසරේ ජයග්‍රහණ ඉස්මතු කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, පසුගිය වසර තුළ ශ්‍රී ලයන්ස් සංවිධානය බලාපොරොත්තු වූවාට වඩා වැඩි ජයග්‍රහණ අත්කර ගෙන ඇති බවයි. විශේෂයෙන්ම ඉහළ තරඟකාරී ක්‍රීඩා සහ ප්‍රජා සහභාගීත්වය යන ක්ෂේත්‍රවල සැලකිය යුතු සිදුවීම් සංවිධානය කරමින් දේශීය හා විදේශීය ශ්‍රී ලාංකිකයන් අතර අනාගත වර්ධනයට සහ සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට මෙම සංවිධානයට හැකි වූ බව ඔහු සඳහන් කලේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි ක්‍රීඩා සහ ප්‍රජා සංවිධානයක් වන ශ්‍රී ලයන්ස්, ඩුබායි, ශ්‍රී ලංකාව සහ කැනඩාව යන රටවල පිළිගැනීමට ලක්ව තිබේ. සංවිධානයේ මූලික මෙහෙවර වන්නේ ළමුන් සහ වැඩිහිටියන් යන දෙඅංශය සඳහාම සකස් කරන ලද සමාජ, ක්‍රීඩා සහ කාලීන සිදුවීම් හරහා ශ්‍රී ලාංකික ප්‍රජාවට සහාය දැක්වීමයි.

ශ්‍රී ලයන්ස් හි ලියාපදිංචි සාමාජිකයින් 2,500 ක් පමණ වන අතර එහි විවිධ ක්‍රියාකාරකම් සඳහා පුද්ගලයින් 10,000 ක පමණ සහභාගීත්වයක් ලැබී තිබේ. සංවිධානයේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ජනතාව සහ අනාගත අභිලාෂයන් නියෝජනය කරන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රීඩා සන්නාමයක් ස්ථාපිත කිරීමයි.

සංවිධානය කේන්ද්‍ර කරගත් ප්‍රධාන ජයග්‍රහණ අතර ඩුබායි රග්බි 7s, බුකාතීර් ක්‍රිකට් ලීගය සහ ඩුබායි නෙට්බෝල් ලීගය වැනි ප්‍රධාන ඉසව්වලට සහභාගී වීම ඇතුළත් වේ. මීට අමතරව, ශ්‍රී ලයන්ස් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, බහරේනය සහ ඕමානය ඇතුළු අනෙකුත් රටවලට සිය සංවිධාන ජාලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

Share.

Comments are closed.