ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය සිදුකෙරෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බව එම අරමුදල තවදුරටත් කියා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධුත පිරිස ශ්‍රී ලංකා සංචාරය ඊයේ(03) නිමාවට පත් කළහ.

පීටර් බෘෘවර් මහතාගේ නායකත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස පසුගිය 25 වැනිදා දිවයිනට පැමිණියෝය. විස්තීරණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබද සාකච්ඡා කිරීම සදහා දූත පිරිස මෙරටට පැමිණ තිබුණි.

යම් රටක සංචාරයකින් පසු හදුනාගන්නා මූලික සොයාගැනීම් පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම දූත මෙහෙය අවසානයේ මාධ්‍යයට නිකුත් කරනු ලබයි.

ආර්ථික ප්‍රතිසංස්කරණ, අඛණ්ඩව වාරික තුනක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, අඩු උද්ධමනය, රාජ්‍ය ආදායම් රැස්කිරීම ඉහළ යාම සහ විදේශීය සංචිත ගොඩනැගීම මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට මෙමගින් අඛණ්ඩ සහාය ලබා දෙයි.

මෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ලෙස පුළුල් පදනමක් සහිතව සහ ස්ථාවර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සදහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව තීරණාත්මක ප්‍රගතියක් ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ ඇති ප්‍රධාන වගකීම සපුරාලීමේ ප්‍රගතිය, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තුන්වන සමාලෝචනය තුළින් විධිමත් ලෙස තක්සේරු කිරීමක් සිදු වේ.

බෘෘවර් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදුවන බවයි. උද්ධමනය පාලනය වෙමින් පවති. දේශීය ණය පොලී අනුපාතිකය ද අඩු වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඉහළ ගියේය.
රාජ්‍ය ආදායම ද වැඩි වී ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා හොද ජීවන තත්ත්වයක් දක්වා පරිවර්තනය වීම අවශ්‍ය බවයි බෘෘවර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.