ශ්‍රී ලංකාවේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය අද (14) නිකුත් කර තිබේ.

පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.
තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

මීට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමනාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවට අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා, එසේ විරුද්ධ වීමට හේතුවන කරුණු පිළිබඳ ප්‍රකාශයක්ද සමඟ එළැඹෙන 28 වනදා මධ්‍යාහ්න 12.00 ට පෙර තමා වෙත යොමු කරන ලෙස පඩි පාලක සභාවේ සභාපතිවරයා අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

Share.

Comments are closed.