2009 වසරට පෙර නිකුත් වී ඇති ලක්ෂ විස්සකට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව අලුත් කළ නොහැකි සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට ඔවුන් කටයුතු කරන බව වාර්තා වේ.

වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේය.
එම බලපත්‍ර ලක්ෂ විස්සෙන් ලක්ෂ දාහතරක පමණ සංඛ්‍යාවක් බර වාහන බලපත්‍ර බව සඳහන්ය.

මාර්ගයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන්ට කුසලතා ලකුණු එකතු කිරීමේ හා ලකුණු සම්පූර්ණ වන රියදුරන්ගේ රිය බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමේ ඩී මෙරිට් වැඩපිළිවෙළ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත බවත් මෙම වැඩපිළිවෙළට පැරණි රියදුරු බලපත්‍ර සහිත පුද්ගලයන්ගේ රිය බලපත්‍ර ද ඇතුළත් කරගැනීමේ පියවරක් වශයෙන් පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම අවලංගු කිරීමට තීරණය කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර කොමසාරිස් වසන්ත ආරියරත්න කියා සිටී.

පැරණි රියදුරු බලපත්‍ර ලාභීන් හට ප්‍රවාහන වෛද්‍ය සහතිකය ලබාගෙන නව රියදුරු බලපත්‍රයක් අයදුම් කිරීමේ හැකියාව පවතී.

Share.

Comments are closed.