දැනට පවතින හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමන් ප්‍රදානය කර ඇති බවයි.

එසේ නමුත් දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

මෙම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟා වීමට නියමිතයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය වසරේ නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවෙන්, විදේශ ගත වී ඇති විදේශ ගමන් බලපත්‍රලාභීන් සංඛ්‍යාව 23% ක ප්‍රමාණයක් පමණි.

එබැවින් උක්ත හිස් විදේශ ගමන් බලපත්‍ර තොගය සපයා ගන්නා තෙක්, අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන මෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේදී සිදුවන ප්‍රමාදය නිසා මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කනගාටුව පළ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share.

Comments are closed.