ඉකුත් ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 පසුගිය වසරේ දෙසැම්බර් අග වනවිට පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් විය. මේ අනුව මේ වසරේ (2024) පළමු මාස හතේදී මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3කින් වර්ධනය වී ඇත.

මෙයට චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකම් ද ඇතුළත් වේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක මුළු විදේශ සංචිත ප්‍රමාණය මඟින් ආවරණය කළ හැකි ආනයන ප්‍රමාණය ආනයනික මාස 3.8ක් පමණ වන බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය.

ඉකුත් ජූලි මාසයේදී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 121ක ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීමක් සිදුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.