පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා මෙම මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. උපරිම රුපියල් ලක්ෂ 15 දක්වා කාණ්ඩ පහක් යටතේ මෙවර ණය ලබා ගැනීමට හැකි වන අතර උසස් අධ්‍යාපන ආයතන 18ක උපාධි පාඨමාලා සඳහා සිසුන්ට අයැදුම් කළ හැකිය.

රුපියල් ලක්ෂ 15ක් ලබා දෙන්නේ ඉංජිනේරු පාඨමාලා සඳහා ය. විද්‍යා පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ 12 ක් ,තොරතුරු තාක්ෂණ පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ 10 ක්ද වශයෙන් ණය හිමිකම ලබා ගත හැකි ය. කළමනාකරණ පාඨමාලා සඳහා හිමිවන ණය මුදල රුපියල් ලක්ෂ 10 වන අතර සමාජ විද්‍යා පාඨාමාලා වෙනුවෙන් රුපියල් ලක්ෂ 18කි.

මෙම ණය මුදල ලබා ගැනීම සඳහා මෙවර ඇපකරුවන් දෙදෙනකු අනිවාර්ය කෙරේ. මව හෝ පියා පළමු ඇපකරුවා ලෙස අත්සන් කළ යුතු වන අතර දෙවැනි ඇපකරුවා ණය මුදල අනුමත කෙරෙන බැංකුවේ අවශ්‍යතාව අනුව ඉදිරිපත් කළ යුතු වෙයි. ඇපකරුවන්ගේ අවශ්‍යතාව මෙවර අනිවාර්ය කර ඇත්තේ මෙතෙක් ණය ලබාගෙන ඇති සිසුන් දෙසිය අනූ දෙදෙනෙක් ණය මුදල ගෙවීම පැහැර හැර තිබීමය.

මෙවර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අටවැනි වරට වන අතර මෙවර අයැදුම් කළ හැකි වන්නේ පසුගිය 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට පමණි.

Share.

Comments are closed.