ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණයක් සිදුව ඇතැයි ලැබුණු පැමිණිලි මත ඒ ගැන පූර්ණ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් දූෂණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දැනට පවතින පාස්පෝට් හිඟය කෘත්‍රිම ලෙස නිර්මාණය කරන ලද්දක් බව මේ දක්වා ඒ ගැන සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේය. මේ දිනවල පාස්පෝට් ලබාගැනීම සඳහා පැමිණෙන පිරිස් කිලෝමීටරයක් තරම් දිගු පෝලිමක රැඳී සිටින බවත් අත යටින් මුදල් ලබාගෙන පාස්පෝට් නිකුත් කිරීමේ ජාවාරමක් ගැන ලැබුණු තොරතුරු අනුව ඒ ගැන පරීක්ෂාවට නිලධාරින් පිරිසක් යෙදවූ බවත් අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.

දැනට කරන ලද පරීක්ෂණ අනුව දිනකට පාස්පෝට් 3,000 ක් පමණ නිකුත් කළ යුතු බැවින් පවත්නා ඉල්ලුම ලබන වසරේදීවත් සපුරාලිය නොහැකි වන ලෙසට හිඟයක් මවා පෑ දේශපාලන බලධාරින් හා නිලධාරින් ළඟදීම නීතියේ රැහැනට කොටු කරගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ආගමන හා විගමන පාලකවරයා සහ විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා කොමිසමට කැඳවා ඇත. ඒ අතර මේ දූෂණයට සම්බන්ධ එක් නිලධාරියකු රාජකාරි ගමනක් යන මුවාවෙන් රට පැනීමේ උත්සාහයක් ඇතැයි පැමිණිලි ලැබී තිබෙන වග ද හෙතෙම සඳහන් කළේය.

පාස්පෝට් කාර්යාලය අසල තිබෙන දිගු පෝලිම්වල රැඳී සිටින ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින අතර මෙය බරපතළ ආරක්ෂක අනතුරක් නිර්මාණය කර ඇති වග ද එම ප්‍රකාශකයා කීය. කෙසේ හෝ පාස්පෝට් නිකුතුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ දී දූෂණයට අදාළ සාක්ෂි දැනටමත් ලැබී තිබෙන බැවින් වගකිවයුත්තන් කොටුකර ළඟදීම ඔවුනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට ද අපේක්ෂා කරන්නේ යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.