ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂාව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී ඊයේ (11 දා) පැවැත්විණි.

මෙහිදී එක් එක් පළාත් මට්ටමින් මැතිවරණ කටයුතු සඳහා කෙරෙන ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවති අතර අපේක්ෂකයන්ට ලබාදී ඇති ආරාක්ෂාවේ අඩුලුහුඩු කම් මෙන්ම නීති විරෝධී ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ගෙනයන ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 10ක් බැවින් එම කාලසීමාව තුළ අපේක්ෂකයන්ට උපරිම ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණ රැලි පැවැත්වීමේදී අපේක්ෂකයන්ට ලබාදී තිබෙන ආරක්ෂාව තවත් තර කරන ලෙස ද මෙහිදී උපදෙස් ලැබිණි.

මැතිවරණය පැවැත්වෙන දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට එළඹ නොමැති බව පැවසූ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා එම ආරක්ෂක ක්‍රියා සැලසුම ඉදිරි දින කීපය තුළ ප්‍රකාශ කරන බවද කීවේය.

Share.

Comments are closed.