ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ලාංකික පුරවැසියන් සිය මව්බිම අනාගත ලෝකය කරා ගෙන යෑමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බවත්, මෙරට නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රාහණය කිරීම රට පුරා මහජනයා විසින් සිය ඡන්දය අතිශය සාමකාමීව භාවිතය මගින් ඇති කළ වෙනසක් බව තම නිරීක්ෂණය බවත් කථානායකවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ඇති වූ මේ මහජන විශ්වාසය එක රැයෙන් පහළ වූවක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කලක් නියුක්තවීමේ ප්‍රතිඵලයක් බවද කථානායකවරයා තවදුරටත් පෙන්වා දෙයි. වර්තමානයේ ඔහු ඉදිරියේ ඇත්තේ පහසු අභියෝගයක් නොවන අතර අපගේ සමාජ ආර්ථික දේශපාලනික දේහයේ විචල්‍යතා මැනවින් හඳුනා ගන්නා අතරෙහි ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා අතර නොගැටෙමින් දිසානායක මහතාට මේ දීර්ඝ ගමන තිරසාරව ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් දේශපාලන අධිෂ්ඨානයක් සතු බව තම විශ්වාසය බවද කථානායකවරයා සඳහන් කරයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය ලෙස ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් පළ කොට තිබේ.

Share.

Comments are closed.

Exit mobile version