නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම මේ වනවිට අවසන් කර තිබේ.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනේ නම් ලිපි බෙදනු ලබන තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකිය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුවද 2024 ඡන්දහිමි නාම ලේඛනයේ නම සඳහන් වේනම් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව සභාපතිවරයා පැවසීය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බව සඳහන්‍ වේ.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත ,වලංගු විදේශ ගමන් බලපත්‍රය,වලංගු රියදුරු බලපත්‍රය ,රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත ,වැඩිහිටි හැඳුනුම්පත ,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූජ්‍ය හා පූජක හැඳුනුම්පත ,කාඩ් පත් නොමැති වීම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය ,ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් හැඳුනුම්පත් ලෙස භාවිතා කිරීමට හැකිය.

එම හැඳුනුම්පත් කිසිවක් නොමැති පුද්ගලයන්ට මැතිවරණ කාර්යාලයෙන් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකිය.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ගෙ වම් අතෙහි දබර ඇගිල්ල සලකුණු කරන බව සභාපතිවරයා පැවසීය.

සුලගිල්ල සහ මහපට ඇගිල්ල ජනාධිපතිවරණයේදී සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සලකුණු කිරීම ඊට හේතුව බව වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.

Exit mobile version