අමෙරිකාවේ පැවැත්වෙන 6 වැනි ලෝක කුසලාන කැරම් තරගාවලියේදී පිරිමි සහ කාන්තා යුගල ඉසව්වල ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම් සමත් විය.
සත්කාරක අමෙරිකානු පිල සමඟ පැවති පිරිමි යුගල තෙවැනි ස්ථානය සඳහා තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම් නායක සහීඩ් හිල්මි සහ අනාස් අහමඩ් වට 2-0ක පහසු ජයක් හිමි කර ගැනීමට සමත් විය. එහි ලකුණු තත්ත්වය 25/4ක් සහ 25/0ක් ලෙස සටහන් විය.
කාන්තා යුගල තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදිත් ශ්රී ලංකා පිලේ ප්රතිවාදීන් ලෙස අමෙරිකානුවන් එක්ව සිටි අතර, එහිදී තරුෂි හිමහන්සිකා සහ හිරුෂි මල්ෂානි වට 2-1ක ජයක් අත්කර ගත්හ. එහිදී 23/12ක් ලෙස ශ්රී ලංකාව පළමු වටය ජයගත් අතර, දෙවැනි වටයේ ජය අමෙරිකාව සතු වූයේ 25/4ක් ලෙසිනි. කෙසේ වෙතත් තෙවැනි වටය 11/10ක් ලෙස ජය ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලාංකික ක්රීඩිකාවෝ සමත් වූහ.
මේ අතර තරගාවලියේ කණ්ඩායම් ඉසව්වල අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමත් වූ අතර, ඔවුන් ඊයේ ඉන්දියාවට එරෙහිව අවසන් තරගවලට එක්වීමට නියමිතව තිබිණි. අවසන් වරට පැවති ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව පිරිමි ශූරතාව දිනාගත් අතර, කාන්තා කණ්ඩායමට අනුශූරතාව හිමිව තිබිණි.