ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් ක්‍රියාත්මක කරනු ලබන  “ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන” ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ‌ඩොලර්  7,200,000 ක පරිත්‍යාගයන් ලබාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය සදහා උපකරණ සේවා කටයූතු සදහා නවීන තාක්ෂණයෙන් අනූන රුපියල් මිලියන 160 කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම සේවා රථ (Mobile Workshop) 08 ක් සහ රුපියල් මිලියන 200 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ, සේවා කටයුතු සදහා වන මෙවලම් ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනමේ (KOFIH) සභාපති වෛද්‍ය ඉල්-සූ හා  (Dr. II-Soo Ha) යන මහත්ම මහත්මීන් විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය.

මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන කාර්යභාරයක් සිදු කරනු ලබන ජීව වෛද්‍ය  ඉංජිනේරු ක්ෂේත්‍රයේ ධාරිතා වර්ධනය සදහා ක්‍රියාත්මක වන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන ව්‍යාපෘතිය යටතේ දැනට පවතින ගොඩනැගිල්ලේ අළුත්වැඩියාවන් සහ දෙවන මහලේ ඉදිකිරීම් සිදු කිරීම, වෛද්‍ය උපකරණ අළුත්වැඩියාව සදහා අත්‍යාවශ්‍ය මෙවලම් ලබාදීම, උපකරණ අළුත්වැඩියාව සදහා නවීන තාක්ෂණයෙන් අනූන ජංගම සේවා රථ ලබාදීම, මෙරට සියලු රෝහල් සතු වෛද්‍ය උපකරණවලට අදාළ දත්ත හා තොරතුරු ක්ෂණිකව ලබාගතහැකි නවීන තාක්ෂණික මෙහෙයුම් පද්ධතියක් සැකසීම මෙන් ම කාර්ය මණ්ඩල පුහුණූ කිරීම් සහ හැකියාවන් වැඩිදියුණූ කිරීමට වැඩසටහන් දියත් කිරීම වැනි කාර්යයන් රැසක් ඉටූ කිරීමට නියමිත ය‍.

Share.

Comments are closed.

Exit mobile version