ණය වශයෙන් ශ්‍රී ලංකාවට ලබාගත් ට්‍රිලියන 20කට වැඩි මුදලක් පිළිබඳව කිසිම තොරතුරක් ජාතියේ ශේෂ පත්‍රයේ හෝ වෙනත් ගිණුම් වාර්තාවල සටහන් කර නැතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදේශීය ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දිනට නියමිත වූ විවාදයේ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
“විගණකාධිපති විසින් නිරීක්ෂණය කරනු ලබන අපේ ජාතියේ ශේෂ පත්‍රයේ තිබෙනවා ට්‍රිලියන විසි ගණනකට අධික මුදලක් ආ ගිය තැනක් නෑ. ඉන් පැහැදිලි වන්නේ මේ දක්වා මේ රට නිසි ලෙස කළමනාකරණය කර නෑ කියන එකයි. එසේ කළමනාකරණය කළා නම් ලබා ගත් ඒ ණය නිසි පරිදි සටහන් කළා නම් නිසි ලෙස විගණනය කළා නම් ඒ තොරතුරු ජනතාවට හෙළි කළා නම් අද මේ වගේ තත්ත්වයක් මේ රටට උදාවන්නේ නෑ. ට්‍රිලියන 20කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා ආගිය අතක් නැති, තොරතුරු වාර්තා කරලා නැති.
මේ ගැන වත්මන් රජය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා මෙම මුදල්වලින් කොතරම් ප්‍රමාණයක තොරතුරු සොයාගන්න පුළුවන්ද කියලා. සමහර තොරතුරු සොයන්න දශක ගණනකට ආපස්සට යන්න වෙනවා. ඊට අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. විගණකාධිපති සහ දැනුම ඇති අය සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේකෙන් කියන්නේ පසුගිය රජයන්වල දේශපාලනඥයන් කරපු දේවල් තමයි. ඉවක් බවක් නැතුව ණය අරගෙන රට ණය කන්දක් මතට ගෙනාවා.”