ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙය වීමෙන් දකුණු කොරියාවේ ගූමී ජාත්‍යන්තර ක්රීඩාංණයේ පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ දෙවැනි දිනයේදී මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. කාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්හ.

කාලිංග තත්පර 45.55කින් හා සහාය දිවීමේ පිල විනාඩි 3:21.95කින් තෙවැනි ස්ථානයට පත්වූහ. මිශ්‍ර සහාය දිවීමේ රන් පදක්කම විනාඩි 3:18.12කින් තරගය නිම කළ ඉන්දියාව හා රිදී පදක්කම චීනය (වි. 3:20.52) හිමිකර ගත්හ.
ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් කාලිංග කුමාරගේ, සයුරි මෙන්ඩිස්, සදෙව් රාජකරුණා හා නිෂේන්ද්‍රා හර්ෂණී ප්‍රනාන්දු ඊයේ තරග බිමට පිවිසියහ. මෙම තරගයට සහභාගිවීමේ අපේක්ෂාවෙන් සිටි අරුණ දර්ශන වෙනුවට අවසන් මොහොතේ සදෙව් රාජකරුණා එක්වූ අතර, නදීශා රාමනායක වෙනුවට සයුරි මෙන්ඩිස් එක් කිරීමට සිදුවිය.

ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස මීටර් 100 තත්පර 10.20කින් තරගය නිම කළ ජපානයේ හිරෝකි යන්ගිටා අභිෂේක ලැබූ අතර, වේගවත්ම කාන්තාව ලෙස මීටර් 100 තත්පර 11.37කින් නිම කළ චීනයේ ලියෑන්ග් ෂියොජින්ග් සම්මානයට පාත්‍ර වූවාය. පිරිමි මීටර් 100 රිදී පදක්කම තායිලන්තයේ පුරිපෝල් බූන්සන් (තත්පර 10.20) හා ලෝකඩ පදක්කම කසකස්තානයේ අබ්දුල්ලා අබ්කාර් (තත්පර 10.30) දිනාගත් අතර, කාන්තා මීටර් 100 රිදී පදක්කම තත්පර 11.41කින් සිංගප්පූරුවේ වෙරෝනිකා ශාන්ති හා ලෝකඩ පදක්කම වියට්නාමයේ ට්‍රාන් තායී තත්පර 11.54කින් දිනා ගත්හ.
මීටර් 400 ලෝකඩ පදක්කම දිනූ කාලිංග මේ තරගවාරයේ හොඳම කාලය වාර්තා කිරීම කැපී පෙනුණි. එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් කටාරයේ ඉස්මයිල් ඉබ්‍රහිම් තත්පර 45.33කින් හා රිදී පදක්කම දිනාගත් කෙනාරෝ සාටෝ තත්පර 45.50ක තියුණු සටනකින් ජය වාර්තා කළහ.
ආරම්භයේ සිට ඉතා තියුණු මුහුණුවරක් ගත් මීටර් 400 තරගයේ කාලිංග කුමාරගේ පසුපසින් පැමිණ අවසන් මීටර් 25දී ඉන්දීය ක්‍රීඩක විෂාල් තෙන්නරාසු (තත්පර 45.57) හා ජපානයේ ෆූගෝ සාටෝ (තත්පර 45.59) සිවුවැනි හා පස්වැනි ස්ථානයට පත් කරමින් ඉදිරියට පැමිණ ලෝකඩ පදක්කම ලක් මාතාවට දිනා දුන්නේය.
33 හැවිරිදි කාලිංග කුමාරගේ මීරිගම පල්ලෙවෙල මහා විද්‍යාලයෙන් මලල ක්‍රීඩාවට පිවිසි අතර, අනතුරුව දකුණු ආසියානු හා ආසියානු ශූරතාවලි පදක්කම් දිනා ගැනීමට සමත් වූවේය. ඔහු ශ්‍රී ලංකා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වන අතර, ඔහු සහභාගිවන එම ඉසව්වේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4ට පැවැත්වීමට නියමිතය.
මේ අතර, මීටර් 400 ආසියානු ශූරිය නදීශා රාමනායක අවසන් තරගයේ ආරම්භයේ සිටම පසු බැසීම හේතුවෙන් තත්පර 54.70කින් 8 වැනි ස්ථානයට පත්වී බලාපොරොත්තු සුන් විය. 2023 බැංකොක් ආසියානු ශූරතාවලියේ මීටර් 400 තරගය තත්පර 52.61කින් නිම කොට රන් පදක්කම දිනාගත් ඇය පසු කරමින් මෙවර රන් පදක්කම ජපානයේ නැනකෝ මට්සුමෝටෝ දිනාගත් අතර, රිදී පදක්කම ඉන්දියාවේ රූපාල් රාහුල් (තත්පර 52.68) හා ලෝකඩ පදක්කම උස්බෙකිස්තානයේ ජොන්බිබි හුක්මෝවා (තත්පර 52.79) දිනා ගත්හ.
මීටර් 100 අවසන් පූර්ව තරග වටයට එක්වූ චමෝද් යෝධසිංහ තත්පර 10.46කින් තරගය නිම කිරීම හේතුවෙන් අවසන් මහා තරගයට යෑමට එම කාලය ප්‍රමාණවත් නොවුණි. ඔහු මූලික වටයේදී තත්පර 10.40ක දක්ෂතාවකින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තද ඊයේ දිනයේ තරමක පසු බැසීමකට ලක් විය.
උස පැනීම ක්‍රීඩක ලෙසඳු අර්ථවිදූගේ අවසන් තීරණාත්මක තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.10ට ආරම්භ වන බැවින් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගි වන මීටර් 400 කාන්තා සහාය දිවීමේ අවසන් තරගය අද පස්වරු 3.45ට පැවැත්වීමට නියමිතය.