දුම්රිය රියදුරු සේවය සඳහා පුද්ගලයින් 200 දෙනකු බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා මේ වනවිට අයදුම් පත් 600ක් පමණ ලැබී තිබෙන බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
විභාග දෙපාර්තමේන්තුව මගින් විභාගයක් පවත්වා දුම්රිය රියදුරු සේවය සඳහා බඳවා ගැනීම් කරන බවත් අනතුරුව ඔවුන්ට සේවා පුහුණුවක් ලබාදෙන බවත් ඒ මහතා කීය.

මහනුවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊයේ (28) මේ බව සඳහන් කළේය.
එහි දී අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
“දුම්රිය දෙපාර්තමේන්තුවේ උද්ගතව තිබෙන ගැටලුවලට ප්‍රධානතම හේතුව පරිපාලනයේ පවතින අකාර්යක්ෂමතාව. තව දුරටත් පරිපාලනය මේ ආකාරයෙන්ම කටයුතු කරගෙන යන්නේ නම් ඔවුන් වෙනස් කිරීමට සිදු වෙනවා.
හැමදාම පැලැස්තර අලවමින් දුම්රිය සේවය ගොඩගන්න බැහැ.මේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය කොතනින් හෝ පටන් ගත යුතුයි. එහෙම නැත්නම් මේක ඉවරයක් වෙන්නෙ නැහැ.
ගැටලු විසඳන දින වකවානු මම දීලා තියෙනවා. පරිපාලනය විසින් ඒ කටයුතු දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ වෘත්තිකයන් අතර සිටින සියලු දෙනාම කඩාකප්පල්කාරයෝ නෙවෙයි. කඩාකප්පල්කාරයෝ සුළු පිරිසක් ඉන්නවා. ඒ අය හැසිරෙන ආකාරයට තමයි අනිත් අයවත් ජනතාව ගණන් ගන්නේ. මේ කඩාකප්පල්කාරයන් පිරිසගේ වැඩ හින්දා අනිත් අයත් අපහසුතාවට පත්වෙනවා. දුම්රිය සේවයේ වෘත්තිකයෝ බහුතරයක් මේ සේවයේ අභිමානය ඉහළට ගන්න කැපවීමෙන් කටයුතු කරනවා.
ඇතැම් විට මේ අය තමන්ගේ අයිතිවාසිකම් ඉටුකරගන්න වෘත්තීය ක්‍රියාමාර්ගවලට යනවා. එතනදි තමයි මේ අය අපි එක්ක වගේම ජනතාව එක්ක ගැටෙන්නේ. දුම්රිය පරිපාලනයේ අකාර්යක්ෂමතාව නිසා තමයි මේ වගේ ගැටලු උද්ගත වෙලා තියෙන්නේ. පරිපාලනයේ සෑම අංශයක්ම දුර්වලයි අකාර්යක්ෂමයි. නිසි කළමනාකරණයක් නැහැ. දුම්රිය රියදුරන්ට එකපාරටම රස්සාවෙන් අස් වෙන්න බැහැ. ඒ පිරිස යම්කිසි රාජ්‍යසේවා ප්රතිපත්තියකට අනුව තමයි රැකියාවට බැඳිලා තියෙන්නේ.
නමුත් පරිපාලනයේ දුර්වලතා තියෙනවා නම් ඒ අය ඉවත් කරන්න අපිට පුළුවන්. මේ විදියට දිගටම ගියොත් අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනය අපි ඉවත් කරනවා. ඒ මොකද මේ රටේ ජනතාව පොදු ප්‍රවාහන සේවයේ ගැටලු නිසා හොඳටම තැලිලා ඉන්නේ. උදේට කෝච්චියේ වැඩට එන කෙනාට හවසට ගෙදර යන්න කෝච්චි නැහැ. අපි කොහොමහරි මේක ගොඩ දාන්න ඕනේ. ජනතාව විවිධ යෝජනා ගේනවා.
ත්‍රිවිධ හමුදාවේ අය දුම්රිය රියදුරන් ලෙස පුහුණු කරන්න කියලා අපෙන් ඉල්ලනවා. ඒ තීරණවලට යන්න කලින් සාකච්ඡා මගින් මේ ගැටලු විසඳගන්න අපි උත්සහ කරනවා.”