බිම් මට්ටමේ ගැටළු විසඳීම සඳහා වැඩි බලතල ලබා දෙන අතරම සියලුම ප්‍රාදේශීය සභා නගර සභා ලෙස උසස් කිරීමේ හැකියාව පිළිබඳව රජය සලකා බලමින් සිටින බව පැවසේ.

ප්‍රාදේශීය සභා වෙනුවට නගර සභා ක්‍රමයක් ස්ථාපිත කිරීමේ හැකියාව සලකා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එවැනි ක්‍රමයක් යටතේ බිම් මට්ටමේ ගැටළු කාර්යක්ෂමව විසඳීම සඳහා නගර සභාවලට වැඩි බලතල පැවරෙන බව ඔහු සඳහන් කලා. ප්‍රාදේශීය සභා යනු 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ සෑම පළාත් සභාවකම පිහිටුවා ඇති ග්‍රාමීය පළාත් පාලන ආයතන වේ.

මේ අතර, අම්පාර සහ මන්නාරම නගර සභා දෙක පිළිවෙලින් නැගෙනහිර සහ උතුරු පළාත්වල ප්‍රධාන නගර ලෙස සැලකෙන බැවින් අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මහ නගර සභා ලෙස උසස් කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

පවතින යටිතල පහසුකම්, කාර්යාල පහසුකම් සහ මානව සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අතිරේක ප්‍රතිපාදන ලබා නොගෙන එම නගර සභා දෙක මහ නගර සභා බවට පත් කරන බව අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කලා.

Share.

Comments are closed.