ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවකයන් ලක්ෂ දොළහක් දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වාගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පවසනවා.

මෙතෙක් කාලයක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදු කළේ පුරප්පාඩු තිබියදී නොව රජයේ විවිධ ප්‍රතිපත්තිමය තීරණ හරහා බවද ලේකම්වරයා අවධාරණය කලා.

එමෙන්ම වසරකට රාජ්‍ය සේවකයන් විසිදහසක් පමණ විශ්‍රාම ගැනෙන අතර එවැනිම ප්‍රමාණයක් නැවත රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් මෙතෙක් කාලයක් පැවතුණි.

එහෙත් වත්මන් රජය යටතේ රාජ්‍ය වියදම අඩු කර ගැනීමේ වැඩපිළිවෙළ හරහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා කර තිබෙනවා.

ඒ අනුව වසරකට රාජ්‍ය සේවකයන් විසිදහසක් පමණ විශ්‍රාම ගැනුණද නැවත රාජ්‍ය සේවය සඳහා එවැනි ප්‍රමාණයක් බඳවා ගැනීමක් සිදු නොකෙරේ.

මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරි වසර කිහිපය තුළ දී රාජ්‍ය සේවය ක්‍රමානුකූලව අඩු කර ගත හැකි බවද ලේකම්වරයා පවසයි.

එපමණක් නොව වසර පහක කාලයක් සඳහා රාජ්‍ය සේවකයන් විදේශ රැකියාවලට යොමු කිරීම මගින්ද රාජ්‍ය සේවය ක්‍රමානුකූලව අඩු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් මෙම වැඩපිළිවෙළ හරහා කිසිදු රාජ්‍ය සේවකයකුට අසාධාරණයක් නොවන බවත් ලේකම්වරයා සඳහන් කලා.

මේ අතර විශ්‍රාම යාමේ වයස අවුවුරුදු හැට දක්වා අඩු කිරීම හරහා මෙම වසර අවසානයේ රාජ්‍ය සේවකයන් විසිපන්දහසක් පමණ විශ්‍රාම යාමට නියමිතයි.

සියලුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු හැට සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන ගැසට් පත්‍රය අගමැති දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව පසුගිය 05 වැනිදා නිකුත් කලා.

Share.

Comments are closed.