එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2024 ජනවාරි 1 වනදා සිට තනි භාවිත ප්ලාස්ටික් සාප්පු බෑග් සඳහා සම්පූර්ණ තහනමක් බලාත්මක කරන බව අඟහරුවාදා නිවේදනය කරන ලදී. අමාත්‍ය මණ්ඩල යෝජනාවක් මඟින් ලබන වසරේ සිට තනි භාවිත ප්ලාස්ටික් ෂොපින් බෑග් ආනයනය, නිෂ්පාදනය සහ සංසරණය තහනම් කොට තිබෙනවා.

2026 ජනවාරි 1 සිට, කෝප්ප, පිඟන්, හැඳි ගෑරුප්පු, බහාලුම් සහ පෙට්ටි, හැඳි, ගෑරුප්පු, පිහි, චොප්ස්ටික්ස්, බීම බ​ට වැනි ප්ලාස්ටික් හෝ ෆෝම් නිෂ්පාදන තහනම් කරනු ඇත. මෙය තනි භාවිත අමුද්‍රව්‍ය වලින් සාදන ලද නිෂ්පාදන තහනම් කිරී​මේ පෙරහුරුවක් ලෙස සැළකෙනවා.

මෙම තීරණය​ට ආහාර ද්‍රව්‍ය නැවුම්ව තබා ගැනීමට භාවිතා කරන තුනී බෑග් රෝල් ඇතුළු සමහර නිෂ්පාදන බැහැර කොට තිබෙනවා. අපනයනය කිරීමට හෝ ප්‍රති-අපනයනය කිරීමට නියමිත නිෂ්පාදන පැහැදිලිව ලේබල් කර ඇත්නම් ඒවා මෙම තහනමින් නිදහස් කෙරෙනවා. රට තුළ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍යවලින් සාදන ලද බෑග් ද මෙම තහනමින් නිදහස් කෙරෙනවා.

කොටන් බඩ්, සිගරට්, තෙත් පිසදැමීම් සහ බැලූන් ඇතුළු ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා තනි භාවිත ද්‍රව්‍ය නිෂ්පාදනය අඩු කිරීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාමාර්ගවල අරමුණ වන්නේ ප්ලාස්ටික් දූෂණයෙන් පරිසරය ආරක්ෂා කිරීමයි. මෙම තීරණය ප්ලාස්ටික් පරිභෝජනය සීමා කරන අතර ෆෙඩරල් මට්ටමින් එහි භාවිතය නියාමනය කරනු ලබනවා.

මෙම තීරණයට අනුව, එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් මත යැපීම අවම කිරීම සඳහා සියලු පාර්ශවකරුවන්, අදාළ බලධාරීන් සහ පාරිභෝගිකයින් ඇතුළුව එකට වැඩ කිරීම අවශ්‍ය වෙනවා. පාරිභෝගිකයින් බහු-භාවිත නිෂ්පාදන වෙත මාරු වන පරිදි ඔවුන් මුල පිරීම් අනුගමනය කළ යුතුය. සාප්පු සහ සිල්ලර වෙළඳසැල්වල විකල්ප පහසුවෙන් ලබා ගත හැකි බවටද අදාළ බලධාරීන් වග බලා ගත යුතුවෙනවා.

අවම වශයෙන් එමිරේට්ස් හි නගර හතරක් මේ වන විට ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීම හෝ නියාමනය කිරීම ප්‍රකාශයට පත් කර ඇත.

අබුඩාබියේ, පසුගිය ජූනි 1 වැනිදා සිට තනි භාවිත ප්ලාස්ටික් තහනම ක්‍රියාත්මක වූ අතර, ඩුබායි හි පසුගිය ජූලි 1 වැනිදා සිට සිල්ලර වෙළෙන්දෝ මල්ලකට ෆිල්ස් 25ක් අයකරති. සාජා විසින් 2022 ඔක්තෝම්බර් 1 දින සිට තනි භාවිත ප්ලාස්ටික් බෑග් සඳහා ෆිල්ස් 25 තීරුබදු හඳුන්වා දුන් අතර, Umm Al Quwain විසින් 2023 ජනවාරි 1 සිට තනි භාවිත ප්ලාස්ටික් තහනම් කරන ලදී. සම්පූර්ණ තහනම 2024 ජනවාරි 1 සිට බලාත්මක වීමට නියමිතව ඇත.

Share.

Comments are closed.