ලොව විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ ප්‍රතිවාදි ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමට වයස අවුරුදු 10ක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට ඊයේ (13) අවස්ථාව හිමිවුණි. ඒ ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සමගාමිව පැවති ප්‍රදර්නාත්මක ටෙනිස් තරගාවලියකදීය.

ටෙනිස් පිටියේ තරග කාලසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලිය වසර මුළදී පැවැත්වෙන්නේ වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව ලෙසය. මෙම ටෙනිස් තරගාවලියට සමගාමීව ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගයක් තරග සංවිධායකයන් සූදානම් කර තිබුණි.

ඊයේ රාත්‍රීයේ ඔස්ට්‍රේලියා මෙල්බර්න්හී පිහිටි රෝඩ් ලේවර් අරීනා ටෙනිස් පිටියේදී පැවති මෙම ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගය සඳහා එක්වුණේ ලොව විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයා ලෙස සැළකෙන සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ඔස්ට්‍රේලියා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසුවන නික් කිරියෝස් ය.

එම තරගයේදී ජොකොවිච් සහ නික් කේවල තරගයකට, රෝද පුටු ක්‍රීඩකයෙක් සමඟ යුගල ටෙනිස් තරගයකට සහ තවත් යුගල ටෙනිස් තරගයකට ක්‍රීඩා කළේ රැස්ව සිටි ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමිනි.

මෙහිදි නික් කිරියෝස්ගේ සහාය ක්‍රීඩකයා ලෙස පිටියට එක්වුණේ ශ්‍රී ලාංකිකයෙක් වන දසහැවිරිදි වියේ පසුවන තාදි කරුණානායකය. තාදි, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් කනිෂ්ඨ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල මේවනවිට අංක දෙක ස්ථානයේ පසු වේ.

ඒ නිසාම ඔස්ට්‍රේලියා ටෙනිස් සංගමය තාදීට මෙම අවස්ථාව ලබාදුන් අතර තාදීගේ ක්‍රීඩා විලාශය මෙම තරගයේදී විස්තර විචාරකයෙන්ගේ පවා ඇගයීමට ලක්කෙරුණි. මෙවැනි ප්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ තාදි වීම විශේෂත්වයකි.

Share.

Comments are closed.