ලබන ඔක්තෝබර් මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි හය වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තර​ඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් අද (07 වැනිදා) දහවල් 12.30ට ආරම්භ වේ.

මූලික වටයේ තර​ඟ සහ සුපිරි හය වටයේ සහභාගි වූ සියලු තර​ඟ ජයගෙන සිටින ශ්‍රී ලංකාව මේ වන විට අපරාජිතව අදාළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටී.

මේ අතර මූලික වටයේදී නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ හමුවේ පරාජයට පත් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් සුපිරි හය වටයේදී ස්කොට්ලන්තය හමුවේ පරාජය වීම නිසා ඔවුන්ට ලෝක කුසලාන බලාපොරොත්තු ගිලිහිණි.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබීම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සුදුසුකම් ලබා නොතිබීම හමුවේ ඔවුන් අද (07 වැනිදා) තර​ඟය සඳහා පීඩනයකින් තොරව සහභාගි වනු ඇත.

දෙරට අතර මේ දක්වා පවත්වා තිබෙන එක්දින ජාත්‍යන්තර තර​ඟ 64ක් අතුරින් ශ්‍රී ලංකාව තරග 30ක් ජයගන්නා අතරවාරයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තර​ඟ 31ක ජය හිමි වී තිබේ. යම් හෙයකින් අද තරඟය ශ්‍රී ලංකාව ජයගතහොත් එම ජයග්‍රහණ සංඛ්‍යාව සමවනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව්හි ප්‍රධානතම වේග පන්දු යවන තුරුම්පු දෙක වන ජේසන් හෝල්ඩර් සහ අල්සාරි ජෝසප් මේ වන විට නැවත බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගොස් තිබේ. ඉදිරියේදී ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියට විවේකයක් ලබාදීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා සිය රට බලා පිටත්කර තිබේ.

ඒ හේතුවෙන් අද තර​ඟයේදී වෙනත් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු කොදෙව් කණ්ඩායමට ඇතුළත් වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේද යම් වෙනස්කමක් සහිතව අද තර​ඟයට එකවන බව වාර් තා වුවත්, ඊයේ හවස් වනතුරු අවසන් සංචිතය නම් කර නොතිබිණි.

Share.

Comments are closed.