ඉහල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන රටවල් 30 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, සහ තායිලන්තය ද එම රටවල් අතරට ඇතුළත් කර ඇති බවයි.
අග්නිදිග ආසියා කලාපයේ සාමාජික රටවල් 11න්, 10කම ඩෙංගු රෝගය සීඝ්‍ර පැතිරීමක් ඇති බව ද, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මහජන සෞඛ්‍යයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කරමින් පසුගිය දශක දෙක තුළ ගෝලීය වශයෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ ය. වසරේ ගතවූ කාලය පුරාවට ලොව රටවල් 80 කට අධික සංඛ්‍යාවක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප පහක ඩෙංගු වැළදුණු පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළේ ය. ව්‍යාප්තිය වැඩිවීමේ අවදානම ,රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙහි ගෝලීය වශයෙන් අවදානම ඉහළ මට්ටමක පවතින බව ද, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වසරේ මේ දක්වා කාළය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අසූ හතර දහස් හාරසීය දහ තුනක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කලේ මෙම මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් හත් දහස් නමසිය විසි පහක් වාර්තා වූ බවයි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එම සංඛ්‍යාව දාහත්දහස් අටසිය හැට දෙකකි.

ඩෙංගු රෝගයෙන් මෙම වසරේ මේ දක්වා පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

Share.

Comments are closed.