ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් වයස අවුරුදු 3 සිට 21 අතර අධ්‍යාපනය හදාරන දරුවන්ගෙන් සියයට 54.9 ක් එහි සෘජු බලපෑමට හසුවී ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල නව වාර්තාවේ දැක්විය.එම වාර්තාව අනුව ඉහත සඳහන් කළ වයස් කාණ්ඩය තුළ නාගරිකව සියයට 54. 2 ක් ග්‍රාමීයව සියයට 55.1 ක් සහ වතු ආශ්‍රිතව 55.1 වශයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී බාධා එල්ල වී තිබේ.

මෙහිදී පාසල් උපකරණ මිලදී නොගැනීම හෝ අඩුකිරීම සඳහා සියයට 53.2 ක්, නිල ඇඳුම් මිලදී නොගැනීම හෝ කපා හැරීම සඳහා සියයට 44.0 ක්, උපකාරය පන්තිවලට සහභාගි නොවීම සියයට 40. 6 ක්, මාර්ගගත පන්ති සඳහා මාරු වීම සියයට 28.1 ක් සහ පාසල් උපකරණ මිලදී නොගැනීම හෝ අඩු කිරීම සඳහා සියයට 26.1 ක් පෙළඹී ඇති බව ද එකී වාර්තාවේ දැක්වේ. එසේම එම වාර්තාව මෙරට ළමුන්ගෙන් සියයට 17 .5 ක් අධ්‍යාපනය සීමා කර ඇති බව සහ සම්පූර්ණයෙන් අධ්‍යාපනයෙන් ඉවත් වූ ප්‍රතිශතය සියයට 2.1 ක් බව පෙන්වා දෙයි. 2022 මාර්තු සිට දීප ව්‍යාප්තව සිදුකර ඇති සමීක්ෂණයකට අනුව මෙම වාර්තාව එළිදක්වා ඇති අතර ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය 2023 ලෙස එය නම් කර තිබේ. අධ්‍යාපනය, රැකියා, පුද්ගල ආදායම, ගෘහ ආදායම් සහ වියදම්, සෞඛ්‍ය සහ පවුල් ඒකකවල ණයගැතිභාවය යන මාතෘකා හතක් යටතේ එම සමීක්ෂණය සිදු කර තිබේ.

Share.

Comments are closed.