කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් ක්‍රියාවලියෙහි ප්‍රධානතම පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2024 පළමු කාර්තුවේ දී වාර්තාගත බහාලුම් මෙහෙයුම් ධාරිතාවක් ලඟා කර ගෙන ඇත.

පසුගිය වර්ෂයේ පළමු කාර්තුව තුලදී මෙලෙස මෙහෙයවා ඇති බහලුම් ප්‍රමාණය 441,032ක් වූ අතර එය 2024 වර්ෂයේ දී පළමු කාර්තුව තුලදී 652,766ලෙස වර්ධනය වීමකි. එම වර්ධනය ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී 48% ක් වේ.

එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙම වසරේ (2004) පළමු මාස 03 තුලදි ප්‍රතිනැව්ගත බහලුම් 582,403 මෙහෙයවා ඇත. එය පසුගිය වසරේ අදාල කාලසීමාවට සාපේක්ෂව 49.81% ප්‍රථිශතයක් බව සඳහන්‍ ය.

කොළඹ වරායට මෙම වසරේ පළමු මාස 03 තුලදී ප්‍රතිනැව්ගත බහලුම් 1,729,314 මෙහෙයවීමට SLPA, CICT, ECT හා JCT සහ සියලු පර්යන්තයන්ට හැකියාව ලැබී ඇත. මෙම වර්ධනය ප්‍රතිශතයක් ලෙස පසුගිය වර්ෂයේ අදාල කාලසීමාව හා සැලකීමේ දී 24.20% ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ දැනට රතු මුහුද ආශ්‍රිතව මැදපෙරදිග කලාපයේ ඇති වී ඇති යුධ අවදානම කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් ධාරිතාව ඉහළ යාමේ කෙටිකාලීන වර්ධනයට හේතු වී ඇති බවයි. ඒ අනුව මැදපෙරදිග කලාපය තුළ ක්‍රියාත්මක සමහර ප්‍රධාන නෞකා ජාල මේ වන විට යුධ අවදානම් කලාපය තුළ පිහිටා ඇති රතු මුහුද හා සූවස් ඇල මග හැර ඒ සඳහා ආදේශකයක් ලෙස සිය බහළු ප්‍රතිනැව්ගත කිරීමට කොළඹ වරාය තෝරාගෙන ඇත.

ඕනෑම ගෝලීය තත්ත්වයකට මුහුණ දීමට කොළඹ වරාය සතු හැකියාව හේතුවෙන් මෙම තත්ත්වය කළමණාකරණය කර ගනිමින් එම වාසිය රඳවා ගැනීමට හැකියාව ලැබී ඇති බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ ය.

කොළඹ වරායෙහි සමස්ථ බහලු මෙහෙයුම් ධාරිතාව ද බහලු 2,002,077 ලෙස ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රථිශතයක් ලෙස 23.87% ක වර්ධනයකි. කලාපයේ ප්‍රමුඛතම වෙළඳ නාවික මධ්‍යස්ථානය ලෙස කොළඹ වරාය වෙත ක්‍ෂේත්‍රයේ ඇති ආකර්ශණය මේ අනුව කැපී පෙනේ.

මේ වන විට නැගෙනහිර බහලු පර්යන්තයේ II වන අදියර ද ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ ඇති අතර ඇණවුම් කළ STS හෙවත් නව පර්යන්ත අද්දර දොඹකර 03ක් ද ලැබී ඇත. මෙම තත්ත්වය ඉදිරියේ දී කොළඹ වරායෙහි මෙහෙයුම් ධාරිතාව ඉහළ යාමට මූලික හේතුවක් වනු ඇත.

එමෙන්ම මේ වන විට කොළඹ වරාය තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති හා යටිතල පහසුකම් සංවර්ධනය අවසන් වූ විට කොළඹ වරාය වෙත තව තවත් නෞකා සේවා ආකර්ශණය කර ගත හැකි වනු ඇත. ඒ තුළින් කොළඹ වරායෙහි බහලු මෙහෙයුම් ධාරිතාව වර්ධනය කර ගැනීමටත් පර්යන්ත කාර්යක්ෂමතාව හා ඵලදායිතා වර්ධනය කරු ගැනීමටත් හැකි වේ.

Share.

Comments are closed.