ඩැනී පෙරේරා වන මෙම ව්‍යවසායකයා විසින් හඳුන්වා දී ඇති ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’වලට ඕස්ට්‍රේලියානුවන් දැඩි සේ ආකර්ෂණය වී ඇතැයි වාර්තා වේ. 

‘ඩච් රූල්ස්’ ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර ඇත.

2022 වසරේදී ආරම්භ කරන ලද ‘ඩච් රූල්ස්’ සමාගම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්වී තිබේ.

‘ඩච් රූල්ස්’ සමාගමේ නිර්මාතෘ ඩැනී පෙරේරා අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඩී, 2000 දශකය මැදභාගයේදී වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත.
අධ්‍යාපනය ලබන කාලයේදී  වියදමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සොයාගත් අර්ධකාලීන රැකියාව සියල්ල වෙනස් කර ඇති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නගරයේ තැබෑරුමක කළ රැකියාවට තමන් බෙහෙවින් ප්‍රියකළ බවත් තමාගේ ජානවල තිබෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම සඳහා එම රැකියාව හේතුවූ බවත් ඩැනී පෙරේරා ප්‍රකාශ කර ඇත.

තැබෑරුම තුළදී මිනිසුන් සමඟ කතා කිරීම සහ ඔවුන්ට මධ්‍යසාර පිළිගැන්වීම බෙහෙවින් ප්‍රියවූ බවත් තමන් ඉදිරියට යා යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් නොවන බව අවබෝධ වූ බවත් පෙරේරා මහතා සඳහන් කර තිබේ.
ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී නිව් වර්ල්ඩ් කන්ටෙම්පරරි ජින් කාණ්ඩය යටතේ ඩැනී පෙරේරාගේ ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානය රිදී පදක්කම දිනාගෙන ඇත. ශ්‍රී ලාංකික කුළුබඩු ඇතුළුව අමුද්‍රව්‍ය 15 ක් යොදා ගනිමින් මෙම ජින් පානය නිපදවෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.

Share.

Comments are closed.