ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී ඇත.

සැප්තැම්බර් මස 12 සහ 18 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත තරුණයන් 69 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා (09) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු විය.

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියාලාභීන් තෝරාගනු ලබන්නේ ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් ලොතරැයි ක්‍රමවේදයට අනුවය.

එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 5යි මාස 5ක කාලයක් රැකියාවල නිරතවීමට අවස්ථා හිමි වේ.

Share.

Comments are closed.