රට ආර්ථික අභියෝගවලින් ගොඩඑමින් ඉදිරියට යන ගමනේදී නව ජනාධිපතිවරයකු පත්වීම වැදගත් සන්ධිස්ථානයක් බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් කියා සිටියේය.

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මුල්ම විදේශ රාජ්‍ය තාන්ත්‍රික සුබපැතුම ජපානයෙන් ලැබීම විශේෂත්වයක් වන අතර එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ජපානයේ ජනතාව වෙනුවෙන් හෘදයාංගම සුබපැතුම් පිරිණමන බවයි. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගනිමින් රට මෙහෙයවීමටත් හොඳ සහ තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් අභිනව ජනාධිපතිවරයා ගන්නා උත්සාහය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගු කාලීන මිත්‍රත්වය සහ ජපානය කෙරෙහි ඇති පෞද්ගලික හිතවත්කම ජපන් තානාපති කාර්යායේ සිටින තමා සහ කණ්ඩායම දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට, ශ්‍රී ලංකාව සාමය හා සෞභාග්‍ය කරා යන ගමනට සහයෝගය දැක්වීමට කටයුතු කරන බවත් එහි සඳහන් වේ. වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමෘද්ධිමත් වේවා යයිද ජපන් තානාපතිවරයා ප්‍රාර්ථනා කර සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් එක්කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ද ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලාංකිකයන් විසින් තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාමකාමී ලෙස ක්‍රියාත්මක කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාවට සුබපතන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චැන්ග් මහත්මිය සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියාය. එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය අගය කරන අතර දෙරටේ හවුල් ප්‍රමුඛතා මත එකට වැඩ කිරීමට සූදානම් බවද තානාපතිනිය පෙන්වා දෙයි.

Share.

Comments are closed.

Exit mobile version