N’ සීරිස් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ‘P’ සීරිස් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමට වැඩබලන ආගමන විගමන පාලකවරියට අභියාචනාධිකරණය ඊයේ (09) අවසර ලබා දුනි.

නව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමේදී මෙතෙක් ලබාගත් ‘N’ සීරිස් සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබා ගැනීමට අභියාචනාධිකරණය මීට පෙර අවසර දුන් නමුත් ඒ වෙනුවට ‘P’ සීරිස් සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිදුවී ඇති බවට වැඩබලන ආගමන විගමන පාලකවරිය දැනුම් දී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දෙන ලදි.

සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමේදී අදාළ බලපත්‍ර ගාස්තු, ආරක්ෂක ක්‍රමවේද ඇතුළු කරුණු තීරණ ගැනීම සඳහා වැඩබලන ආගමන හා විගමන පාලකවරිය විසින් පත් කර ඇති පංච පුද්ගල කමිටුවේ තීරණ කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට යටත්ව මෙම අවසරය දෙන ලදි.

එම පංච පුද්ගල කමිටුවේ නිර්දේශය කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන ආගමන හා විගමන පාලකවරියට උපදෙස් දී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට එහිදී දන්වා සිටියේය.

එම විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමට අදාළව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කරන ලදි. මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම මෝසම කැඳවනු ලැබිණි.

මිල දී ගැනීමට යෝජිත විදේශ ගමන් බලපත්‍රවලින් ඇතැම් ආරක්ෂක අංග ඉවත් කර ඇති බැවින් ඒවා මහජනතාව වෙත නිකුත් කිරීමේදී යම් කාලයක් ගතවිය හැකි බව එහිදී පෙත්සම්කාර එපික් ලංකා පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රමෝද් පෙරේරා මහතා සඳහන් කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එම අවස්ථාවේදී සඳහන් කළේ මිල දී ගැනීමට නියමිත නව විදේශ ගමන් බලපත්‍රවලට අදාළ ආරක්ෂක පද්ධති සහ බලපත්‍ර ගාස්තු යන කරුණු සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම කළ යුතු බවය. පෙත්සම්කාර පාර්ශ්වය සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා වැඩබලන ආගමන හා විගමන පාලකවරිය විසින් පංචපුද්ගල කමිටුවක් පත්කර ඇති බව ඒ මහතා කීය.

එම කමිටුවේ තීරණ කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
කරණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම යළි නොවැම්බර් මස 06 වැනිදා කැඳවීමට නියම කළේය.

මේ අතර ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිල දී ගැනීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය එදින තෙක් තවදුරටත් බලපැවැත්වෙන බව විනිසුරු මඬුල්ල සඳහන් කළේය.

එපික් ලංකා පෞද්ගලික සමාගම මඟින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය පෞද්ගලික සමාගම් දෙකකින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දාහක් මිල දී ගැනීම වළක්වමින් පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

ඉකුත් ඔක්තෝබර් මස 01 වැනිදා ආගමන සහ විගමන පාලක වෙනුවෙන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එම නියෝගය හේතුවෙන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන මහජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවී ඇති බව ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන්ට හැකි වන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට එදින තීරණය කළේය.

හිටපු මහජන ආරක්ෂක ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

Share.

Comments are closed.

Exit mobile version