මේ වසරේ නොවැම්බර් මාසයේ දී ලබන වසර (2025) සඳහා අය වැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත.

ඒ අනුව වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමකුත් ඉන් අනතුරුව ජාතික අය-වැය ලේඛනයකුත් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කරනු ලැබේ. නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු බලයට පත්වන රජය, අමාත්‍යාංශ සහ ඊට අදාළ ආයතන ගැසට් කළ යුතුව තිබේ. ඉන් පසු ඒවාට ඉදිරි වසර සඳහා වියදම් සහ සංවර්ධන යෝජනා මෙන්ම ආදායම් ලබා ගැනීම් ඇස්තමේන්තු සකස් කළ යුතුය.

මෙම කරුණු ඉතා ඉක්මනින් සපුරාලීමට කාලයක් නොමැතිකම නිසා වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරනු ඇත. වසර 2025 මුල් මාස හතරේ රජය අත්‍යවශ්‍ය වියදම් සහ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් සහ අය වැයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම මෙම අතුරු සම්මත ගිණුම හරහා සිදු කරනු ලැබේ. ඉන් අනතුරුව විද්‍යාත්මක පදනමක් මත දැනට පවතින අමාත්‍යාංශ සහ ඒවායේ සේවා වෙන්කර ගැනීම්, ඒවා ගැසට් කිරීම සිදු කිරීමට නියමිතය. එලෙස විධිමත් ආකාරයට අමාත්‍යාංශ හා විෂයන් වෙන් කර ගැනීමෙන් පසු වසර 2025 සඳහා සම්පූර්ණ අය වැයක් ඉදිරිපත් කිරීම සිදු කෙරේ.

මෙම වසර 2025 සඳහා වූ සම්පූර්ණ අය-වැය ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය ක්‍රියා කරනු ඇතැයි දේශපාලන සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Share.

Comments are closed.

Exit mobile version