වසරේ දී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ සඳහන් කරයි. ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල කාර්යයක් ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ, 2025 වර්ෂයේදී විදේශ රැකියා 340,000 ක් සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සම්බන්ධව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදි අදහස් දැක්වු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් ඇමරිකන් ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එම වර්ෂයේදී ඇමරිකන් ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බව ඩී.ඩී.පී.සේනානායක මහතා සඳහන් කළේය. 2024 වර්ෂයේදී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතුරින් වෘත්තිමය රැකියා (Skill Job) සඳහා ඉන් සියයට 65% ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා (Low Skill Job) සියයට 35% ක ප්‍රමාණයක් පිටත්ව ගොස් තිබෙන බව සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2025 වර්ෂයේදී වෘත්තිමය රැකියා සඳහා ශ්‍රමිකයින් සියයට 75 ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 25ක පිරිසක් යොමුකිරිමට සැලසුම් කරන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව කුවේට් රාජ්‍යය සඳහා 84,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 55,000 ක් සෞදි රාජ්‍යයේ රැකියා සඳහා 52,000 ක් යොමුකිරිමට බලාපොරොත්තු වේ. එසේම කාර්යාංශය මගින් සෘජුවම රැකියා සඳහා යොමුකරන ඊශ්‍රායල් රැකියා 15,900, ජපානයේ රැකියා 9,000 ක්, දකුණු කොරියාව යන රටවල් සඳහා ශ්‍රමිකයින් 8,000 ක් යොමුකිරිමට කාර්යාංශය සැලසුම් කර තිබේ.

මෙම වැඩමුළුව සඳහා 2024 වර්ෂයෙදී මැදපෙරදිග කලාපයේ රටවල, ගෘහස්ථ නොවන රැකියා සඳහා අවම වශයෙන් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 100ට වැඩියෙන් යොමුකළ රැකියා නියෝජිතායතනවල බලපත්‍රලාභීන් පිරිසක් සහභාගි විය

Share.

Comments are closed.

Exit mobile version