තරගයේදී ඉන්දියාවෙන් ලැබුනු ලකුණු 374 ක සුවිශාල ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 306 ක් පමණි.

නායක දසුන් ශානක පන්දු 88 කදී වේගවත් ලකුණු 108ක් නොදැවී රැස්කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කඩුළු 8 ක් ලකුනු 206 කට බිඳ වැටී තිබියදී නායක දසුන් ශානක හා කසුන් රාජිත 9 වැනි කඩුල්ල සඳහා පන්දු 73 කදී ලකුණු සියයක නොබිඳුනු සබඳතාවක් පැවැත්වීය.

මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒක්දින තරගයක 9 වැනි කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම සබඳතාව විය. මීට පෙර 2010 වර්ෂයේදී ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග 9 වැනි කඩුල්ල සඳහා වාර්තා කළ ලකුණු 132 ක වාර්තාව ​එම කඩුල්ල වෙනුවෙන් ලොව වාර්තා වූ ඉහළම ලකුනු සබඳතාවද ලෙස නොනැසී පවතියි.

මෙය ශානකගේ එක්දින දිවියේ වාර්තා වූ ඉහළම ඉනිම මෙන්ම දෙවැනි ශතකයද වේ. ඊට අමතරව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 72 ක් වාර්තා කලේය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 373 ක් වාර්තා කලේය. නැවතත් පිත්තෙන් සාර්ථක වූ විරාත් කෝලි පන්දු 87 කදී ලකුණු 113 ක් රැස් කළ අතර එය කෝලිගේ 45 වැනි එක්දින ශතකය විය. ඊට අමතරව නායක රෝහිත් ෂර්මා පන්දු 67 කදී ලකුනු 83 ක් රැස් කලේය.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පිත්තෙන් දස්කම් දැක්වූ විරාත් කෝලිටයි. මේ සමගින් තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ඉන්දියාව පෙරමුණේ පසුවේ.

Share.

Comments are closed.