ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව දැනුම් දෙයි. ක්‍රීඩා ඇමැතිවරයා ICC වෙත යැවූ එම ලිඛිත දැනුම්දීම අනුව එහි විධායක කමිටුව රැස්වී ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් අතුරු කමිටුව අවලංගු කිරීම සම්බන්ධව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  ලිඛිත දැනුම්දීමක් කර තිබේ. ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම පිළිබඳව ICCයේ අවධානය යොමු කර ඇතැයි පැවසේ. මේ ලිපි දෙකම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉදිරි විධායක කමිටුව රැස්වීමේදී සාකච්ඡාවට ගනු ඇතැයි වාර්තා වේ.

ICC හා ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනය අතර, විශ්වාසය තහවුරු කර ගැනීමේ පළමු පියවර ලෙස ගැසට් පත්‍රයක් මඟින් පනවා තිබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ප්‍රසිද්ධියට පත් කලේය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම් දුන් බවය. එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට දැනුම් දී සිටියේ ක්‍රීඩාව දේශපාලනික බලපෑම්වලින් තොරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවය.

Share.

Comments are closed.