MasterChef Australia තරඟාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉවත්වීමට ශ්‍රී ලාංකීය තරඟකාරියක් වන සවින්ද්‍රි පෙරේරාට සිදු විය.
ඒ අනුව ඇය මෙම තරගාවලියේ 3වන ස්ථානය දිනාගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලාංකීය රසය ජාත්‍යන්තරයට ගෙනයමින් ඇය දැක්වූ දස්කම් ජාත්‍යන්තරය තුළ පැසසුමට ලක් වූ අතර විශේෂයෙන් ශ්‍රී ලාංකීය ව්‍යාංජන කිහිපයක් ද සමග ඇය අවසන් පූර්ව තරගයේ පිළිගැන්වූ ආකාරය Masterchef season 16 තරගාවලිය තුළම සුවිශේෂි අවස්ථාවක් බව වාර්තා වේ.

ඇය මෙම තරගාවලියේ එක් අවස්ථාවක ඉවත්වූ අතර නැවත ඇයට තරගය සදහා අවතීර්ණ වීමට අවස්ථාව හිමි විය.

සවින්ද්‍රි විසින් සකස් කරන ලද ශ්‍රී ලාංකීය ආහාරවලට විනිසුරුවන් අතිශයින් ප්‍රිය කිරීම හේතුවෙන් මෙම අවස්ථාව ලැබුණු අතර ශ්‍රී ලාංකික තරුණිය නැවතත් තම හදවත්වලට පිවිසිණු බව එම විනිසුරුවරුන් සඳහන් කලහ.

ඇය මීට පෙර තරඟවල සකස් කරනු ලැබූ රසවත් ශ්‍රී ලාංකීය ආහාරවල රස බැලීමෙන් පසුව MasterChef Australia විනිසුරුවන් තරඟයට නැවත පැමිණීම සඳහා සවින්ද්‍රි තෝරා ගෙන ඇත.

සවින්ද්‍රි වයස අවුරුදු 18 දී ඇඩිලේඩ් වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ, ග්‍රාමීය ඉවුම් පිහුම් විලාසය මෙන්ම එම ආහාර පිළිගැන්වීම ඇගයීමට ලක්ව ඇති බව වාර්තා වේ. තරඟය කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීම සඳහා රැකියාවෙන් පවා ඉවත් වූ ඇය, MasterChef Australia තරඟාවලියේ තෙවන ස්ථානයට පත් විය.

MasterChef තරගාවලියක් තුළ මෙලෙස ශ්‍රී ලාංකීය ආහාරවේලක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන තමන් ආඩම්බර වන බව ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියාය.

අදාළ සටහන නම් කර තිබුණේ, “A Love Letter to Sri Lanka” යනුවෙනි.

Share.

Comments are closed.