කොළඹ මහ නගර සභාවේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටියදී එහි අකුණු සන්නායකයේ තඹ පටි කපා සොරකම් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07 වැනිදා) දන්වා සිටියේය.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි අශෝක ජයරත්න විසින් කරන ලද පැමිණිල්ලක් මත එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නගර සභා ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරමින් විමර්ශන පවත්වන බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

නගර සභාවේ සියලුම දේපොළවල ආරක්ෂාව තමාගේ යටතේ තිබෙන බවත්, ඒ සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටින බවත් පැමිණිලිකාර ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා කුරුඳුවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

නගර සභාවේ අකුණු සන්නායකය සවිකර ඇති ගොඩනැගිල්ලේ තඹ පටියෙන් අඩි 6 1/2 ක කොටසක් කපා ඉවත්කර ඇති බවත්, ගොඩනැගිල්ලේ වහලයේ කොටසේ සවිකර ඇති තඹ පටියෙන් මීටර් 75 ක් පමණ කොටසක් කපා ඉවත්කර ඇති බවත්, ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සවිකර තිබූ අකුණු සන්නායකයේ තඹ පටියෙන් අඩි 10 ක් පමණ කොටසක් කපා ඉවත්කර ඇති බවත් සඳහන් කරමින් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මෙම අපරාධය වී ඇති කොළඹ නගර සභා භූමියේ දිවා රාත්‍රි ආරක්ෂක නිලධාරින් රාජකාරි කරන බවත්, වාහන ඇතුළු වීමට හෝ පිටවීමට පිවිසුම් දොරටු 02 ක් තිබෙන බවත්, එහිද ආරක්ෂක නිලධාරින් සිටින බවත් අධිකරණයට දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවද දන්වා සිටියේය. 

Share.

Comments are closed.

Exit mobile version